ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන සහ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රවල නිරත විශිෂ්ට ගුරුවරුන්ගේ බුද්ධිමය හා නිර්මාණශීලී දායකත්වය අගයමින් සහ හෙට දින පරපුරේ අධ්‍යාපන ප්‍රමිතීන් ඉහළ නැංවීමට ඔවුන් දක්වන කැපවීමට උපහාර පිදීම සඳහා සංවිධානය කරන ලද “ජාතික ගුරු සම්මාන 2025” පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ තුර්කි සමූහාණ්ඩුවේ තානාපති අතිගරු සෙමිහ් ලුට්ෆු තුර්ගුට් මහතා ප්‍රධාන අමුත්තා ලෙසත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා ගෞරවනීය අමුත්තා ලෙසත් මෙම අවස්ථාවට සහභාගී වූහ.
අධ්‍යාපන පද්ධතිය තුළ විශිෂ්ටත්වය සහ බලපෑම හඳුනා ගැනීම සඳහා නිර්මාණය කර ඇති මෙම සම්මාන උළෙලේදී, උසස් අධ්‍යාපන අංශයේ විද්වතුන් ඇගයීමට ලක් කරන ලදී. එහිදී ඔවුන්ගේ ඉගැන්වීමේ දක්ෂතාවය, පර්යේෂණ කටයුතු සහ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ දායකත්වය යන නිර්ණායක සැලකිල්ලට ගත් අතර, ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කළ මහාචාර්ය තනතුරු පිරිනැමීමේ ප්‍රමිතීන්ට අනුකූල නිර්ණායක භාවිතා කරන ලදී. ඒ අනුව ප්‍රායෝගික විද්‍යාව, හෙද සහ සෞඛ්‍ය විද්‍යාව, සමාජ විද්‍යාව, ගණිතය සහ සංඛ්‍යාලේඛන, මනෝවිද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, භාෂා සහ සාහිත්‍යය, අධ්‍යාපනය, පරිගණක විද්‍යාව, නීතිය මෙන්ම ව්‍යාපාර හා කළමනාකරණය වැනි පුළුල් පරාසයක විෂයයන් රැසක් නියෝජනය කරමින් මෙම සම්මාන පිරිනැමිණි.
එසේම, පාසල් අධ්‍යාපන අංශයේ ගුරුවරුන් ඇගයීමේදී ඔවුන්ගේ ඉගැන්වීමේ සාර්ථකත්වය, ප්‍රජා දායකත්වය සහ අධ්‍යාපනික නවෝත්පාදන පිළිබඳව අවධානය යොමු කෙරිණි. දරුවන්ගේ අධ්‍යාපන ප්‍රතිඵල හැඩගැස්වීමේදී සහ රට පුරා ප්‍රජාවන් ශක්තිමත් කිරීමේදී ගුරුවරුන් ඉටු කරන සුවිශේෂී කාර්යභාරය මෙහිදී අගය කෙරිණි.
උසස් අධ්‍යාපන අංශය යටතේ අයදුම්පත් 35ක් අතරින් තෝරාගත් විශිෂ්ටයින් 15 දෙනෙකු සම්මානයට පාත්‍ර වූ අතර, පාසල් අධ්‍යාපන අංශය යටතේ අයදුම්පත් 166ක් අතරින් තෝරාගත් ජයග්‍රාහකයින් 25 දෙනෙකු සම්මානයට පාත්‍ර විය. මෙහි ඇති විශේෂත්වය වන්නේ දිවයිනේ පළාත් නවයම නියෝජනය වන පරිදි එක් පළාතකින් තිදෙනෙකු බැගින් සම්මානයට පාත්‍ර කිරීම හරහා ජාතික මට්ටමට අමතරව පළාත් මට්ටමින්ද අධ්‍යාපන විශිෂ්ටත්වය ඇගයීමට ලක් කිරීමයි.
මෙම උළෙලේ සුවිශේෂී සන්ධිස්ථානයක් වූයේ රසායන විද්‍යා විෂය ක්ෂේත්‍රයට දැක්වූ සුවිශේෂී දායකත්වය සහ කොළඹ විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනය වෙනුවෙන් කළ අනුපමේය සේවය වෙනුවෙන් මහාචාර්ය සුජාතා හේවාගේ මහත්මියට “Lifetime Award’’ පිරිනැමීමයි. දැනුම බෙදා හැරීම සහ පර්යේෂණ ක්ෂේත්‍රය වෙනුවෙන් සිය වෘත්තීය ජීවිතයම කැප කළ විද්වතුන් හට මෙම ගෞරව නාමය පිරිනමනු ලබයි.
ඉහළ සහභාගීත්වයක් සහ විශාල ජාතික අවධානයක් දිනාගත් “ජාතික ගුරු සම්මාන 2025”, ශ්‍රී ලංකාවේ මානව ප්‍රාග්ධනය සහ දිගුකාලීන සංවර්ධනය ගොඩනගන ප්‍රධානතම ශිල්පීන් ලෙස ගුරුවරුන් ඇගයීමේ වැදගත්කම නැවත වරක් තහවුරු කළේය.
