2026, කොළඹ: ශ්‍රී ලංකා සත්කාරක සේවා උපාධිධාරීන්ගේ සංගමය (SLHGA) විසින් International Distillers Limited (IDL) සහ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) සමග එක්ව සංවිධානය කරනු ලබන 31 වන ජාතික බාර්ටෙන්ඩර් තරගාවලිය (National Bartenders Competition) මේ වන විට ආරම්භ වී ඇත. දශක තුනකට අධික කාලයක විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ ඉහළම තලයේ දක්ෂතා ඇගයීමට ලක් කෙරෙන මෙම තරගාවලිය මෙරට සත්කාරක සේවා ක්ෂේත්‍රයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වනු නිසැකය.

ශ්‍රී ලංකාවේ සත්කාරක කර්මාන්තය ශක්තිමත්ව ඉදිරියට යන මේ මොහොතේ, සේවා ප්‍රමිතීන් සහ අමුත්තන්ගේ අත්දැකීම් ඉහළ නැංවීමට නිර්මාණශීලී වෘත්තිකයන් දක්වන දායකත්වය මෙම තරගාවලිය හරහා ඉස්මතු කෙරේ. වසර ගණනාවක් පුරා නැගී එන දක්ෂතා පෝෂණය කරමින්, බාර්ටෙන්ඩින් කලාවේ ප්‍රමිතීන් ඉහළ නැංවීමට මෙම වේදිකාව සුවිශාල මෙහෙවරක් ඉටු කර ඇත.
මෙවර තරගාවලියට සමගාමීව දිවයින පුරා කලාප හයක් ආවරණය වන පරිදි ප්‍රාදේශීය පුහුණු සහ දැනුවත් කිරීමේ වැඩසටහන් සාර්ථකව පවත්වන ලදී. සහභාගී වන්නන්ට තාක්ෂණික දැනුම සහ වෘත්තීය අවබෝධය ලබා දෙමින් ඔවුන්ව ජාතික මට්ටමේ තරගාවලියක් සඳහා මනාව සූදානම් කිරීම මෙහි අරමුණ විය.
මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා සත්කාරක සේවා උපාධිධාරීන්ගේ සංගමයේ සභාපතිනී ආචාර්ය ගීතාංජලී චක්‍රවර්තී මහත්මිය මෙසේ පැවසුවාය: “ජාතික බාර්ටෙන්ඩර් තරගාවලිය දශක තුනක් සනිටුහන් කරන මේ මොහොතේ, මෙම වේදිකාව ජාතික මට්ටමේ පිළිගත් ප්‍රමිතීන් යටතේ තිබීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වෙනවා. මෙය තරුණ වෘත්තිකයන්ට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව දස්කම් දැක්වීමට අවශ්‍ය විශ්වාසය සහ අවස්ථාව ලබා දෙන සුවිශේෂී වැඩසටහනකි. මෙවර 31 වන අදියර වෙනුවෙන් IDL සමාගම සහ SLITHM ආයතනය අප සමග අත්වැල් බැඳගැනීම ක්ෂේත්‍රයේ දියුණුවට විශාල ශක්තියක්. ගෝලීය වශයෙන් තරගකාරී සත්කාරක සේවා කර්මාන්තයක් බිහි කිරීමට අප නිරන්තරයෙන් කැප වී සිටිනවා.”
International Distillers Limited හි නියෝජ්‍ය සභාපතිනී ඉන්දු සෙල්වරත්නම් මහත්මිය සිය අදහස් දක්වමින් මෙසේ පැවසුවාය: “විශිෂ්ට ශිල්පීය හැකියාවන් අගයන ජාතික බාර්ටෙන්ඩර් තරගාවලිය සමග සිව්වන වරටත් එක් වීමට ලැබීම අප සමාගමට මහත් සතුටක්. සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගන්නා දක්ෂ වෘත්තිකයන් සහ ඔවුන්ගේ නිපුණතා වෙනුවෙන් සහයෝගය දීමට අප සැමවිටම කැප වී සිටිනවා. දේශීය අමුද්‍රව්‍ය, කුළුබඩු සහ පලතුරු භාවිතයෙන් ජාත්‍යන්තර මට්ටමේ කොක්ටේල් පාන වර්ග නිර්මාණය කරමින් අපේ රටේ අනන්‍යතාවය ලොවට ගෙන යන දේශීය ශිල්පීන්ගේ නිර්මාණශීලීත්වය අප අගය කරනවා. විශේෂයෙන්ම මෙවර තරගාවලිය සඳහා වාර්තාගත කාන්තා සහභාගීත්වයක් දක්නට ලැබීම සැබවින්ම ආඩම්බරයට කරුණක්.”
ජාතික බාර්ටෙන්ඩර් තරගාවලියේ සභාපති ප්‍රදීප් ලියනගේ මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය: “2026 වසරේදී ජාතික බාර්ටෙන්ඩර් තරගාවලියේ 31 වන අදියර අප පවත්වන්නේ වසර ගණනාවක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියමිනුයි. SLHGA, SLITHM සහ IDL එක්ව මෙම වේදිකාව ජාත්‍යන්තර මට්ටම දක්වා ඔසවා තබා තිබෙනවා. ලොව සුප්‍රකට සත්කාරකත්වයේ තානාපතිවරුන් ලෙස නව පරපුරක වෘත්තීය Mixologists පිරිසක් බිහි කිරීමට ලැබීම අප ලබන විශාල ජයග්‍රහණයක්.”
31 වන ජාතික බාර්ටෙන්ඩර් තරගාවලිය, මෙතෙක් පැවති වඩාත්ම අංග සම්පූර්ණ සහ බලපෑම් සහගත තරගාවලිය ලෙස ඉතිහාසයට එක් වනු ඇත. දේශීය දක්ෂතා ජාත්‍යන්තරයට ගෙන යමින් ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරක සංස්කෘතිය ලොව පුරා ප්‍රචලිත කිරීමට මෙම වැඩසටහන සුවිශාල දායකත්වයක් ලබා දෙනු නිසැකය.
