‘People and Planet First’ ගෝලීය ඇගයීමට ලක් වූ ප්‍රථම ශ්‍රී ලාංකීය බැංකුව බවට DFCC බැංකුව පත්වෙයි

මහජනතාව සහ මිහිකත පෙරටු කරගත් ‘People and Planet First හි හවුල්කරුවෙකු ලෙස DFCC බැංකුව ඇගයීමට ලක්ව ඇති අතර, මෙම සුවිශේෂී ගෝලීය ගෞරව නාමය හිමිකරගත් ප්‍රථම ශ්‍රී ලාංකීය බැංකුව ලෙස එය ඉතිහාසයට එක්වෙයි. ‘People and Planet First’ වැඩසටහනේ නිල ගෝලීය හවුල්කරුවෙකු වන ‘Good Market Sri Lanka’ හරහා පිරිනමන ලද මෙම ඇගයීම මගින්, සමාජීය සහ පාරිසරික වටිනාකම් සිය ව්‍යාපාරික මෙහෙයුම්වල කේන්ද්‍රය ලෙස සලකන ව්‍යවසායන් සවිබල ගැන්වීම සඳහා DFCC බැංකුව ඉටු කරන සුවිශේෂී මෙහෙවර තහවුරු කෙරේ.

image 2

තිරසාරභාවය යනු හුදෙක් අතිරේක අංගයක් ලෙස නොව, සිය ණය ලබාදීමේ ක්‍රියාවලිය, අවදානම් තක්සේරු කිරීම සහ ව්‍යවසායකත්වය දිරිගැන්වීමේ උපායමාර්ගයන්හි මූලික පදනම ලෙස DFCC බැංකුව විසින් අනුගත කර ගෙන තිබේ. සදාචාරාත්මක නිෂ්පාදන ක්‍රියාවලීන්, ප්‍රජා යහපැවැත්ම, සාධාරණ ජීවනෝපායන්, පාරිසරික භාරකාරත්වය සහ වගකීම් සහගත ව්‍යාපාරික වර්ධනය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ව්‍යවසායන් සඳහා මූල්‍ය පහසුකම් සැලසීම මෙහිදී විශේෂත්වයකි. මෙම ඇගයීම හරහා බැංකුව විසින් ව්‍යාපාර සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැපයීම පමණක් නොව, ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අර්ථවත් ලෙස දායක වන ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා දක්වන කැපවීම ද ඇගයීමට ලක් කර ඇත.

DFCC බැංකුව මූල්‍ය පහසුකම් සැපයීමට අමතරව මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීම, ව්‍යවසායකත්ව සංවර්ධනය සහ විවිධ ක්ෂේත්‍රයන් සඳහා ලබා දෙන විශේෂඥ සහාය මගින් සදාචාරාත්මක ව්‍යවසායන්හි ස්ථාවරත්වය සහ දිගුකාලීන ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමට දායක වේ.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙසේ ප්‍රකාශ කළේය: “DFCC බැංකුවේ අපට තිරසාරභාවය යනු හුදෙක් සටන් පාඨයක් හෝ තවත් එක් ව්‍යාපෘතියක් නොවේ, එය බැංකුකරණය සහ ජාතික සංවර්ධනය දෙස අප බලන සැබෑ දැක්මයි. ‘People and Planet First’ හවුල්කරුවෙකු ලෙස අපව ඇගයීමට ලක්වීම, පාරිසරික වශයෙන් වගකීම් සහගත ව්‍යාපාරික භාවිතයන් වෙනුවෙන් පෙනී සිටින ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට අප සතු කැපවීම තවදුරටත් ශක්තිමත් කරනවා. මෙලෙස ගෝලීය හවුල්කරුවන් සහ දේශීය කණ්ඩායම් සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම ගැන අප ආඩම්බර වනවා.”

Good Market Sri Lanka ආයතනයේ සම-නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂිකා අචලා සමරදිවාකර මහත්මිය අදහස් දක්වමින් මෙසේ පැවසුවාය: “‘People and Planet First’ හවුල්කරුවෙකු ලෙස ඇගයීම මගින් සමාජීය සහ පාරිසරික වටිනාකම් නිර්මාණය කරන ව්‍යවසායන් සඳහා ප්‍රායෝගික හා අර්ථවත් සහයෝගයක් ලබා දෙන ආයතන ඉස්මතු කෙරෙනවා. සදාචාරාත්මක සහ තිරසාර ව්‍යාපාර සමඟ DFCC බැංකුව පවත්වන සක්‍රීය සම්බන්ධතාවය අගය කළ යුතු අතර, මෙම ඇගයීම වගකීම් සහගත මූල්‍යකරණය සඳහා ඔවුන් දක්වන වර්ධනය වන කැපවීම පිළිබිඹු කරන්නක්. මහජනතාවට සහ මිහිකතට ප්‍රමුඛත්වය ලබා දෙන ආර්ථිකයක් ශක්තිමත් කිරීමට සහය වන මෙවැනි හවුල්කරුවන් Good Market Sri Lanka වෙත සාදරයෙන් පිළිගන්නවා.”

මෙම ඇගයීම දේශගුණික විපර්යාසයන්ට අනුගත ක්ෂේත්‍රයන් සඳහා මූල්‍ය පහසුකම් සැලසීම, පාරිසරික සහ සමාජීය සුපරීක්ෂාව ශක්තිමත් කිරීම සහ සියලු මෙහෙයුම් හරහා වගකීම් සහගත බැංකුකරණ භාවිතයන් ප්‍රවර්ධනය කිරීම ඇතුළු DFCC බැංකුවේ දිගුකාලීන තිරසාර ඉලක්කයන් සමඟ මැනවින් අනුගත වේ. DFCC බැංකුවට අනුව මෙම ඇගයීම හුදු ගෞරව නාමයක් පමණක් නොව, ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට දායක වන ව්‍යවසායකයින් ශක්තිමත් කිරීමට බැංකුව සතු දැඩි අභිලාෂයේ සලකුණකි.

DFCC බැංකුව පිළිබඳව  

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන DFCC බැංකුව 1955 වසරේදී ස්ථාපිත කරන ලද අතර,  1956 වසරේ සිටම එය කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි වී සිටී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන එය Fitch Ratings වෙතින් A (lka) ශ්‍රේණිය හිමි කරගෙන තිබේ. DFCC බැංකුව විසින් පාරිභෝගික, ආයතනික හා සුළු හා මධ්‍යම පරිමාණ බැංකු සේවාවන් මෙන්ම භාණ්ඩාගාර, ආයෝජන සහ වෙළඳ මූල්‍ය සේවා ඇතුළු සේවාවන් රාශියක් පිරිනමනු ලබයි. 

පාරිභෝගික කේන්ද්‍රීයත්වය හා තිරසාරත්වය උදෙසා මුල් තැන දෙන DFCC බැංකුව DFCC MySpace වැනි ඩිජිටල් සේවාවන් ඇතුළු ක්‍රම රාශියක් ඔස්සේ කාර්යක්ෂම හා සුරක්ෂිත ලෙස සිය සේවාවන් පිරිනමන අතර, දිවයින පුරා ශාඛා 133 ක්ද පිහිටුවා ඇත. මීට අමතර එම බැංකුවේ ගනුදෙනුකරුවන්ට LankaPay ජාලය හරහා ATM යන්ත්‍ර 5,500 කට අධික සංඛ්‍යාවක් භාවිතා කළ හැකි වේ. 

තිරසාර මූල්‍යකරණය සහ පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධ පිළිගත් ප්‍රමුඛයෙකු වන DFCC බැංකුව, පාරිසරික බලපෑම් අවම කරමින් ආර්ථිකයේ දීර්ඝකාලීන ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා කැප වී සිටී.  

image
image