ශ්‍රී ලංකා ටෙනිස් සංගමය විසින් අද දින ‘ශ්‍රී ලංකා ටෙනිස් ප්‍රිමියර් ලීග්’ [Sri Lanka Tennis Premier League (SLTPL)] තරගාවලියේ ආරම්භය නිල වශයෙන් නිවේදනය කරන ලදි. මෙය මෙරට ටෙනිස් ක්‍රීඩාවේ ඉදිරි ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැක.

ප්‍රථම වරට පැවැත්වෙන මෙම තරගාවලිය 2026 අප්‍රේල් 22 සිට 25 දක්වා පැවැත්වීමට නියමිතය. වෘත්තීයමය පරිපාලනයකට යටත්ව ෆ්‍රැන්චයිස් (Franchise) ක්‍රමයට පැවැත්වෙන මෙම තරගාවලියට දිවයින පුරා විසිරී සිටින ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වනු ඇත. කොළඹ, යාපනය, මඩකලපුව, කුරුණෑගල, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මීගමුව වශයෙන් ප්‍රධාන නගර පදනම් කරගත් ෆ්‍රැන්චයිස් 8 ක් මීට ඇතුළත් වේ. මෙය ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉහළ මට්ටමේ තරගකාරී අත්දැකීමක් ගෙනෙනු ඇති අතර, නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙය තම හැකියාවන් සහ පළපුරුද්ද වැඩිදියුණු කරගැනීම සඳහා ලැබෙන මහඟු අවස්ථාවක් වනු ඇත.

“ශ්‍රී ලංකා ටෙනිස් ප්‍රිමියර් ලීග් තරගාවලිය මෙරට ටෙනිස් ක්‍රීඩාවේ පරිවර්තනීය පියවරක් නියෝජනය කරන තරගාවලියක්. මෙමඟින් අපට ටෙනිස් ක්‍රීඩාව සෑම අතින්ම ශක්තිමත් කරන, තිරසාර, අනාගතයට ගැළපෙන ක්‍රීඩා ආකෘතියක් ලැබී තිබෙනවා. එමෙන්ම ඉන් ලැබෙන වාණිජ ආදායම සෘජුවම නැවත ක්‍රීඩාවේ යහපත වෙනුවෙන් ආයෝජනය කෙරෙනවා. මෙය ශ්‍රී ලංකාවේ ටෙනිස් ක්‍රීඩාව වැඩි පිරිසක් වෙත විවෘත කිරීම, ක්‍රීඩාවේ ප්‍රමිතීන් ඉහළ නැංවීම සහ කල් පවතින යටිතල පහසුකම් ගොඩනැංවීම යනාදිය මූලික කරගත් ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ දීර්ඝකාලීන දැක්ම සමඟ මැනැවින් සමගාමී වන තරගාවලියක් ලෙස හැඳින්විය හැකියි.” ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සභාපති ඉක්බාල් බින් අයිසැක් මහතා පැවසීය.

SLTPL තරගාවලිය ආරම්භ කරන ලද්දේ පැහැදිලි සහ ඒකීය දැක්මක් සහිතවය. එම දැක්ම නම් ‘ශ්‍රී ලංකාවේ ටෙනිස් ක්‍රීඩාවේ දීර්ඝකාලීන වර්ධනය සඳහා කැප වූ තිරසාර වේදිකාවක් ස්ථාපිත කිරීම’ යන්නයි. 100% ක්ම ලාභ නොලබන වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක වන මෙම තරගාවලියෙන් ලැබෙන සියලුම ලාභ ක්‍රීඩාවේ යහපත වෙනුවෙන් සෘජුවම නැවත ආයෝජනය කෙරේ. මෙමඟින් ශ්‍රී ලංකාවේ ටෙනිස් ක්‍රීඩාව සම්බන්ධ යටිතල පහසුකම් වැඩිදියුණ වීම, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වැඩි අවස්ථා හිමි වීම, ටෙනිස් ක්‍රීඩාවේ ප්‍රාදේශීය ආවරණ පරාසය පුළුල් වීම සහ සමස්තයක් ලෙස රට පුරා වැඩි පිරිසකට ටෙනිස් ක්‍රීඩාවේ නියැළීමට අවස්ථාව හිමි වීම ඇතුළු ප්‍රතිලාභ රාශියක් හිමි වනු ඇත.
“SLTPL යනු ශ්‍රී ලංකාවේ ටෙනිස් ක්‍රීඩාවේ තරගකාරීත්වය ඉහළ නංවන අතරම ජාත්‍යන්තර සහභාගීත්වය සඳහා ක්‍රමානුකූලව මංපෙත් විවර කරන දීර්ඝකාලීන සංවර්ධන වේදිකාවක් ලෙස ක්‍රමෝපායිකව සැලසුම් කළ තරගාවලියක්. ක්‍රීඩාව තුළ විධිමත් තරගකාරීත්වයක් නිර්මාණය කිරීම, අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව උදාකර දීම සහ ක්‍රීඩාව වෙනුවෙන් තිරසාර ආයෝජන සිදුකිරීම ආදිය ඔස්සේ මෙය ශ්‍රී ලංකාවේ ටෙනිස් ක්‍රීඩාවේ දියුණුව වේගවත් කරමින්, අපගේ ක්‍රීඩකයින්, පරිපාලකයින් සහ යටිතල පහසුකම් ජාත්‍යන්තර තලයට රැගෙන යාමට උපකාරී වේවි. මෙය ශ්‍රී ලංකාවේ ටෙනිස් ක්‍රීඩාව සඳහා ශක්තිමත් හා තිරසාර අනාගතයක් ගොඩනැංවීම සඳහා තැබූ වැදගත් සමාරම්භක පියවරක් ලෙස අප දකිනවා.” ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ උප සභාපති සහ තරගාවලි හා තරග ප්‍රධානී රුක්මාල් කුරේ මහතා පැවසීය.
වෘත්තීයමය වශයෙන් පාලනය වන සහ වාණිජමය වශයෙන් මෙහෙයවනු ලබන තරගාවලියක් ලෙස නිර්මාණය කර ඇති SLTPL, ශ්‍රී ලංකාවේ ටෙනිස් ක්‍රීඩාවේ දීර්ඝකාලීන දියුණුව සහ ඊට අවශ්‍ය මුදල් සම්පාදනය සඳහා උපකාරී වන කේන්ද්‍රීය වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක වනු ඇත.මෙම තරගාවලියේ වාණිජ රාමුව සැලසුම් කර ඇත්තේ, ස්ථාවර නොවන සහ තරගාවලියෙන් තරගාවලියට ඇතිකරගනු ලබන අනුග්‍රාහකත්වයන් වෙනුවට ෆ්‍රැන්චයිස් ගාස්තු, බහුවාර්ෂික අනුග්‍රාහකත්වයන්, ජනමාධ්‍ය හිමිකම් සහ සත්කාරකත්ව අවස්ථා වැනි ක්‍රම ඔස්සේ අඛණ්ඩව ආදායම් ඉපයීමට හැකි වන පරිද්දෙනි. මෙම ප්‍රවේශය හේතුවෙන් SLTPL මඟින් ලැබෙන ආදායම අඛණ්ඩව, විධිමත්ව සහ දීර්ඝකාලීනව ක්‍රීඩාවේ යහපත වෙනුවෙන් නැවත ආයෝජනය කළ හැකි වේ.
“ආරම්භයේ සිටම අපගේ අරමුණ වූයේ ශ්‍රී ලංකාව තුළ වෘත්තීය මට්ටමේ, ෆ්‍රැන්චයිස් පාදක කරගත් ටෙනිස් තරගාවලියක් සැලසුම් කර, අවශ්‍ය මුදල් සපයාගෙන එය ක්‍රියාවට නැංවීමයි. එවැන්නක් කළ හැකි වන්නේ, තරගාවලියට ශක්තිමත් පරිපාලන සහ අධීක්ෂණ දායකත්වයක් ලබාදිය හැකි ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සමඟ අත්වැල් බැඳගැනීමෙන් පමණක් බව අප තරයේ විශ්වාස කළා. ශ්‍රී ලංකාවට ඇති ගැටලුව වන්නේ දක්ෂතා, පුහුණු කිරීමේ හැකියාවන් හෝ පරිපාලන අභිප්‍රායන් නොමැති වීම නොවෙයි. තිරසාර ලෙස අරමුදල් සපයා ගැනීමට ක්‍රමයක් නොමැති වීම සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවීමයි. SLTPL යනු මෙම මූලික ගැටලුව ආමන්ත්‍රණය කිරීමේ අරමුණින් සැලසුම් කළ තරගාවලියක්.” SLTPL තරගාවලියේ නියෝජිතයෙකු වන රොෂාන් සිල්වා මහතා පැවසීය.
ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ අනුමැතිය සහිතව, ව්‍යුහගත පාලන සහ වාණිජ ආකෘතියක් යටතේ SLTPL තරගාවලිය ක්‍රියාත්මක වේ. ක්‍රීඩාව, නීතිය සහ වාණිජ කළමනාකරණය යනාදී විෂයන් සම්බන්ධ ප්‍රවීණ වෘත්තිකයන් පිරිසකගේ මගපෙන්වීම යටතේ, ඒ වෙනුවෙන්ම ස්ථාපිත කරන ලද වාණිජ අංශයක් මඟින් මෙහෙයවනු ලබන මෙම තරගාවලිය, විනිවිදභාවය, අවංකභාවය සහ සැලසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන ආකාරයට සැලසුම් කර ඇත. ඒ අනුව මෙය විශ්වාසනීයත්වය, තිරසාරත්වය සහ ශ්‍රී ලංකාවේ ටෙනිස් ක්‍රීඩාවේ උන්නතිය අරමුණු කරගත් සාමූහික කැපවීමක් තුළින් ආරම්භ වූ දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ලෙස හැඳින්විය හැකි වේ.
2026 අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත සමාරම්භක SLTPL තරගාවලිය මෙරට ටෙනිස් ක්‍රීඩාව සම්බන්ධයෙන් පවතින ජාතික හා ජාත්‍යන්තර උනන්දුව වැඩි කිරීම, නව ආයෝජන ආකර්ෂණය කරගැනීම සහ දීර්ඝකාලීනව ක්‍රීඩාව වැඩිදියුණු කිරීම සඳහා භාවිතා කළ හැකි ආදර්ශ හා ආකෘති හඳුනාගැනීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
තරගාවලියට එක්වන ෆ්‍රැන්චයිස්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, හවුල්කරුවන් සහ ජනමාධ්‍ය ආවරණය ආදිය පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරි සතිවලදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
