ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්රය විප්ලවීය වෙනසක් සමගින් 25 වසරක් තිස්සේ, ක්ෂේත්රයේ නියාමනය, අධීක්ෂණය සහ සංවර්ධනය උදෙසාම කැපවූ රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) සිය 25 වැනි සංවත්සරය මහත් අභිමානයෙන් සමරයි.

2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය නියාමනය කිරීමේ පනත යටතේ ස්ථාපිත කරන ලද (පෙර, ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය) ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ඉකුත් 25 වසරක කාලය පුරා නීති රීති පදනම් කරගත් අධීක්ෂණ ආයතනයක සිට, දත්ත පාදක කරගත් නවීන නියාමන ආයතනයක් දක්වා සුවිශේෂී වෙනසක් කරා ගමන් කරනු ලැබිණි. ඒ, මහජනතාව තුළ විශ්වාසය වර්ධනය කරමින්, මුල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කරන අතරම, මෙරට ජනතාව හා ව්‍යාපාර අවදානම් කළමනාකරණය සඳහා යොමු කිරීමට දැනුවත් කිරීම සිදුකරමිනි.
සිය 25 වසරක සුවිශේෂී ගමන්මග අභිමානයෙන් සමරන ශ්‍රී ලංකා රක්ෂණ නියාමින කොමිෂන් සභාව සංවිධානය කළ මාධ්‍ය හමුවක් පසුගියදා පැවැත්විණි. එහි අදහස් දැක්වූ අධ්යක්ෂ ජනරාල් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය මෙලෙස සඳහන් කළාය. “පසුගිය කාලය තුළ අවදානම් කළමනාකරණයට මුල්තැන දෙන ශක්තිමත් අධීක්ෂණ ක්‍රමවේද තුළින් රක්ෂණ හිමියන්ගේ ආරක්ෂාව තහවුරු කරන අතරම, ක්ෂේත්රයේ දියුණුව ද සමබරව පවත්වා ගැනීමට කොමිෂන් සභාව සමත් වුණා. ඉන් අප පෙන්වා දුන්නේ රක්ෂණ ක්ෂේත්රය මෙරට ආර්ථිකයේ ඉතාමත් ප්‍රබල මෙන්ම ස්ථාවර පදනමක් බවයි.” එම මාධ්‍ය හමුවේදී, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපති, ආචාර්ය අජිත් රවීන්ද්‍ර ද මෙල් මහතා පළ කළේ මෙවන් අදහසකි. “අප මෙම සංවත්සරය සමරන මොහොතේ, වෘත්තීය පුහුණුව සහ නව සැලසුම් හරහා අපගේ ආයතනික ශක්තිය වැඩි කර ගැනීම ඉතා වැදගත්. එවිට ඉහළම ගුණාත්මකභාවයක් පවත්වා ගනිමින්, එල්ල විය හැකි අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට මෙම ක්ෂේත්රය සූදානම් කිරීමට අපට හැකියි.
2025 වසරේ, කොමිෂන් සභාව විසින් අත්කරගත් සුවිශේෂී ජයග්‍රහණ මෙහිදී විශේෂ ඇගයීමට ලක්කෙරුණු අතර, ‘රක්ෂණ වෙළෙඳ පොළ අතරමැදි බලපත්‍ර සහ අධීක්ෂණ අංශය‘ සහ වෙළෙඳ පොළ හැසිරීම් අධීක්ෂණ ඒකකය අලුතින් පිහිටුවීම, දිවයින පුරා ප්‍රචාරණ වැඩසටහන් දියත් කිරීම මෙන්ම, ප්‍රථම වරට අන්තර් විශ්වවිද්‍යාලයීය රක්ෂණ දැනුම මිනුම තරගය InsureChamp 2025, සාර්ථකව පැවැත්වීම ඉකුත් වසරේ අත්කරගත් සුවිශේෂි ජයග්රහණයන් ය. එමෙන්ම, ආයතනයේ අභ්‍යන්තර වෙනස්කම්ද සිදුකෙරුණු අතර, පරිපාලන සහ මූල්‍ය අංශවල පාලන කටයුතු වෙන් වෙන්ව සිදුකිරීමට පියවර ගැණිනි. මෙම වෙනස්කම්, එහි පාලන කටයුතු විනිවිදභාවයෙන් පවත්වා ගනිමින් මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමට ඉවහල් විය.
අනාගත ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් 2026 වසර සඳහා වන සුවිශේෂී වැඩපිළිවෙළක් ද ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් මෙහිදී ප්‍රකාශයට පත් කෙරිණී. ඒ යටතේ මෙරට ප්‍රථම ‘ඩිජිටල් මෝටර් රක්ෂණ කාඩ්පත‘ හඳුන්වා දීමටත්, මෝටර් රක්ෂණ දත්ත එක්රැස් කෙරෙන ‘මධ්‍යගත දත්ත ගබඩාවක්‘ ස්ථාපිත කිරීමටත් සැලසුම් කර තිබේ. එමෙන්ම සම්මත මරණ අනුපාත වගුවක් හරහා ජීවිත රක්ෂණ අවදානම් වඩාත් නිවැරදිව කළමනාකරණය කිරීම එමෙන්ම, ජාත්‍යන්තර මට්ටමේ OECD/ADBI රක්ෂණ සහ විශ්‍රාමික ඉතුරුම් පිළිබඳ වටමේස සාකච්ඡාව‘ සිය සත්කාරකත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති කොමිෂන් සභාව, 2030 වසර වන විට ‘රක්ෂණ ඉදිරි සැලසුම” ද එළිදැක්වීමට කටයුතු කරනු ලබන්නේ, ශ්‍රී ලංකාවේ රක්ෂණ ව්‍යාප්තිය දෙගුණ කිරීමේ අරමුණ ඇතිවයි. ඊට අමතරව, ජපානයේ FALIA ආයතනය සමඟ එක්ව තරුණ පරපුර රක්ෂණ ක්ෂේත්රය කෙරෙහි නැඹුරු කරවීම සඳහා ජාතික මට්ටමේ රක්ෂණ දැනුවත් කිරීමේ රචනා තරගයක් ද සංවිධානය කිරීමට සැලසුම් කර ඇත.
වර්තමානය වන විට රක්ෂණ සමාගම් 29කින්, රක්ෂණ තැරැව්කාර සමාගම් 82කින් සහ අලාභ තක්සේරුකරුවන් 29 දෙනෙකුගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්රය, මෙරට මූල්‍ය සුරක්ෂිතතාවයේ තීරණාත්මක සාධකයකි. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව නිරන්තරයෙන් කැපවන්නේ රක්ෂණ ක්ෂේත්රය තවදුරටත් ශක්තිමත් කර, රක්ෂණ හිමියන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් එම ක්ෂේත්රය කෙරෙහි මහජන විශ්වාසය ඉහළ නැංවීම වෙනුවෙනි.
