Air Sports Club ළඟදීම විවෘත වේ: ශ්‍රී ලංකාව තුළ ක්‍රියාශීලී ජීවන රටා අත්දැකීමකට නව අර්ථකතනයක්

ශ්‍රී ලංකාවේ සෞඛ්‍යසම්පන්න භාවය, යහපැවැත්ම, ශරීර යෝග්‍යතාවය මෙන්ම තරඟකාරීත්වය යන කරුණු සඳහා රටේ ප්‍රජාවට තිබෙන ප්‍රවේශය වෙනස් කිරීමේ ප්‍රතිඥාවක් සමඟින්, සීමාසහිත Air Sports International (පුද්) සමාගම විසින් Air Sports Club අප්‍රේල් 08, 2026 වන දින මහජනයා වෙත විවෘත කිරීම ශ්‍රී ලංකාවට උත්කර්ෂවත් පුවතක් වීමට නියමිතව තිබේ.

air sports club head table

ඉසුරු හේවාපරාක්‍රම, බුර්හනුදීන් තාසිම් සහ ගනාදරන් ජෙයකුමාර්ගේ දැක්මට අනුව ඉදිරියට යන Air Sports Club, සෞඛ්‍යසම්පන්න ජීවන රටාව සහ යහපැවැත්ම වැඩි වැඩියෙන් සොයා යන කාලයක ශ්‍රී ලාංකිකයින් හට සෞඛ්‍යය, යහපැවැත්ම සහ ශරීර සුවතාවය පාදක වූ නවමු ලෝකයකට දොරගුලු විවර කරයි. මෙම අති නවීන පරිශ්‍රය තුළ අති නවීන pickleball සහ බැඩ්මින්ටන් පිටි, සාමාජිකයින් සඳහා විවේකාගාරයක් සහ ආපනශාලාවක්,  යෝගා ව්‍යායාම, නර්තන ක්‍රියාකාරකම්, සුම්බා, පිලාටේ සහ තවත් බොහෝ ක්‍රියාකාරකම් රාශියක් පිරිනමන බහුකාර්ය ස්ටුඩියෝවක් ඇතුළත් වේ. එසේම සීත ජල පහසුකම් (cold plunges) සහ චිකිත්සාත්මක සුව සේවා ඇතුළු, ව්‍යායාමයන්ගෙන් අනතුරුව යථා තත්වයට පත් වීමට සහාය ලබා දීම සඳහාම කැපවුණු recovery පරිශ්‍රයක් ද මෙයට අන්තර්ගත වේ. මෙම සමස්ත පරිශ්‍රයම ඇමරිකානු ඩොලර් මිලියන 4 කට වැඩි වටිනාකමකින් යුක්ත වන අතර, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව, සම්පූර්ණයෙන්ම වායු සමීකරණය කර, තරඟ සහ වෙනත් අංග ගෝලීය වශයෙන් විකාශනය කිරීමට අවකාශ ලබා දෙන තාක්ෂණයන් ද ඇතුළත් කර නිර්මාණය කර තිබේ. 

ශ්‍රී ලංකාවට තවමත් නවමු අංගයක් වුවද, ගෝලීය වශයෙන් වේගයෙන්ම වර්ධනය වන ක්‍රීඩාවක් වන Pickleball, එක්සත් ජනපදය, ආසියාව, යුරෝපය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. මෙම ක්‍රීඩාව සඳහා විවිධ ප්‍රජාවන් ආකර්ෂණය වෙමින් පවතින අතර, දැන් ශ්‍රී ලංකාව ද, මෙම ගෝලීය වශයෙන් පැතිර යන Pickleball උද්දාමයේ කොටස්කරුවෙකු වීම සඳහා පියවර තබමින් සිටී.

“Air Sports Club උපත ලැබුවේ pickleball යනු ක්‍රීඩාවකට වඩා වැඩි, මිනිසුන් එකට එකතු කරන බලවේගයක්ය යන සරල අදහසිනුයි. අපි උත්සාහ ගත්තේ හුදු ක්‍රීඩාංගණයක් ගොඩනැගීමට නොවෙයි. ඊට වඩා මිනිසුන් රැඳී සිටින්නට, එකිනෙකා හා සම්බන්ධ වීමට ආශා කරන, ඔවුන්ට සැබවින්ම තමන් කොටස්කාරයන් බවට හැඟී යන අවකාශයක් නිර්මාණය කිරීමයි අපිට අවශ්‍ය වූයේ”. සීමාසහිත Air Sports International (පුද්) සමාගමේ අධ්‍යක්ෂ ඉසුරු හේවාපරාක්‍රම මහතා එසේ පැවසීය. “2024 මාර්තු මාසයේ ආරම්භයේ සිටම, අප මෙම සෑම කරුණක් පිළිබඳවම සවිඥාණිකව, ජවය, යහපැවැත්ම සහ මානව සම්බන්ධතාවයන් මත පදනම් වූ පරිසරයක් හැඩගැස්වීමට උත්සාහ කළා. මෙහි පැමිණෙන ඔබට ක්‍රීඩා කිරීමට, නැවත යථා තත්වයට පත් වීමට, අවශ්‍ය ජවය ලබාගැනීමට සහ විවේක ගැනීමට හැකියාව තිබෙනවා.  ඔබ ක්‍රීඩා කිරීම සඳහා මෙහි පැමිණියත්, මිනිසුන් හා සබඳතා ගොඩනංවා ගැනීමට, සමාජානුයෝජනය වීමට අවස්ථාවන් හිමි වෙනවා. අපට ගොඩනැංවීමට අවශ්‍ය වූයේ එවැනි ස්ථානයක්.” 

“අපගේ මෙම නව පරිශ්‍රය ක්‍රීඩා ශූරයන් සඳහා වේදිකාවක් සැකසීමටත්, එසේම සියලු මට්ටම්වල ක්‍රීඩකයින් සඳහා පහසුකම් සලසන මධ්‍යස්ථානයක් ලෙස සේවය ලබාදීමත් වෙනුවෙන් නිර්මාණය කර තිබෙනවා,” යැයි සීමාසහිත Air Sports International (පුද්) සමාගමේ අධ්‍යක්ෂ බුර්හනුදින් තාසිම් පැවසීය. “තරඟකාරීත්වයෙන් යුතුව ක්‍රීඩාවෙන් ඉහළට යෑමට සහ එදිනෙදා ක්‍රීඩා කිරීම යන අරමුණු දෙකටම පහසුකම් සලසන, උසස් තත්වයකින් යුතු, වෘත්තීයමය වශයෙන් කළමනාකරණය කරන ලද පරිසරයක් නිර්මාණය කිරීම අපගේ ඉලක්කය වූවා.”

මෙම පරිශ්‍රය ක්‍රීඩාවට මෙන්ම ශරීර සුවතාවයට ද පහසුකම් සලසන අන්දමින් නිර්මාණය කර ඇත. යෝගා ව්‍යායාම, සුම්බා, නර්තන සහ පිලාටේ ආදී ක්‍රියාකාරකම් බහුකාර්ය ස්ටුඩියෝව තුළ පැවැත්වෙන අතර, සුවතා මධ්‍යස්ථානය සහ ආපනශාලාව තුළින් Air Sports Club සාමාජිකයින්ට විවේක ගැනීමට, එකිනෙකා හා සම්බන්ධ වීමට සහ වැයවු ජවය නැවත ලබාගැනීමට අවස්ථාව සැලසේ. Air Sports Club පෙ.ව. 06:00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා විවෘතව පවතින අතර, එය පුළුල් පරාසයක විහිදුණු ප්‍රජාවක් සඳහා නම්‍යශීලී මෙන්ම ආකර්ශනීය අත්දැකීමක් ලබා දීමට නියමිතව ඇත. 

“අපගේ සාමාජිකයින්ව සෞඛ්‍යසම්පන්න දිවි පෙවෙතක් සහ ශරීර සුවතාවය ඒකාබද්ධ වූ රාමුවක් තුළ එකට එකතු කර තබා ගැනීමටත්, ඔවුන්ට නව අත්දැකීමක් ලබා දීමටත් අපි බලාපොරොත්තු වනවා,” යනුවෙන් සීමාසහිත Air Sports International (පුද්) සමාගමේ අධ්‍යක්ෂ ගනාදරන් ජෙයකුමාර් මහතා පැවසීය. “ඒ වගේම ලබන 2026 මැයි මාසයේදී අපි මංගල Moneyball Championship තරගාවලිය පවත්වන්නට නියමිතව තිබෙන අතර, එහිදී ජයග්‍රාහී තරඟකරුවන් සඳහා එම්. එච්. ඕමාර් අනුස්මරණ කුසලානය සහ අනෙකුත් ත්‍යාග ලබා දීමට නියමිතව තිබෙනවා. මේ අවස්ථාව මෙවැනි ජවසම්පන්න තවත් ඉසව් සඳහා ආරම්භයක් ලබා දෙනු ඇති,” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

මෙම ආයෝජනයට තිබෙන විභවතාවය ඔහු දුටුවේ මන්ද, එහි ශක්‍යතාවය ඔහු අවබෝධ කරගත්තේ කෙසේද යන පැනයන්ට, නවෝත්පාදනීය සහ දූරදර්ශී දැක්මකින් යුතු ශ්‍රී ලාංකික ආයෝජකයෙකු වන අස්ලම් ඔමාර් මහතා පිළිතුරු ලබා දුනි. “සැබෑ සෞඛ්‍යසම්පන්න ජීවිතයක් බිහි වන්නේ, ශාරීරික මානසික යෝග්‍යතාවයේ සහ සමාජ සම්බන්ධතාවයන්ගේ සුසං‍යෝගයෙන් බවට වන විශ්වාසය තුළින් බිහි වූ, ‘ක්‍රියාකාරී සමාජ ජීවිතයක් සඳහා’ යන ආකල්පය වටා ගොඩ නැංවුණු Air Sports Club සමඟින්, ශ්‍රී ලංකාවේ තරුණ පරපුර, ඩිජිටල් නෝමෑඩ් ප්‍රජාව, විදේශික ප්‍රජාව, තරඟකාරී ක්‍රීඩකයින් සහ ව්‍යාපාරික නායකයින් එකට එකතු කළ හැකි අවස්ථාවක් අපට හමු වූවා. තරඟ සඳහා සහභාගී වන ක්‍රීඩකයෙකු වේවා, දිගු සතියකට පසු විවේක ගන්නා වෘත්තිකයෙකු වේවා, තමන්ට අයත් විය හැකි ප්‍රජාවක් සොයන මවක හෝ පියෙකු වේවා, ඔබ කවරෙකු වුවත්, Air Sports Club ඔබේ ජීවිතය ජවසම්පන්නව සහ ප්‍රබෝධමත්ව පවත්වා ගැනීමට අවකාශය ලබා දෙනවා. ශ්‍රී ලංකාව වගේ අපූරු ස්ථානයකට, ලොව පුරා සිටින ප්‍රජාවන් ආකර්ෂණය කර ගත හැකි ආයෝජනයක් ලැබිය යුතුයි. අපි මෙහිදී ආයෝජනය කරන්නේ පොදුවේ අනාගතය සඳහා පමණක් නොව, අපගේ අනාගතය ද සඳහා, ගෝලීය දෘෂ්ටිකෝණයක් මනසේ තබාගනිමිනුයි. පුළුල් ප්‍රතිපත්තිමය සහයෝගයක් වැදගත් වුවත්, මම සෑම විටම විශ්වාස කර සිටියේ අප විසින් අපේම මාර්ගයන් සකස් කර ගත යුතු බවයි. එම මාර්ගයට අන් අය නිර්වචනයන් ලබා දෙන තෙක් බලා සිටීම ප්‍රමාණවත් නොවනු ඇත.”

“මෙම පරිශ්‍රය වෙන් වී තිබෙන්නේ තරුණ, මහලු ඕනෑම වයසක විටින, ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන හෝ ක්‍රීඩාවන්ට එතරම් නැඹුරු නැති ඕනෑම අයෙකු සඳහායි. මෙය එකමුතු හැඟීමකින් හොඳ කාලයක් ගත කිරීම සඳහා ඉඩ කඩ සලසන අවකාශයක් වනු ඇත. Air Sports Club යනු, ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන් ගත් විට, ශ්‍රී ලංකාවේ සමාජයීය හා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවේ හැඩ තල නැවත සකස් කරන ව්‍යාපෘතියක් වනු ඇත. මෙම දැක්ම මල්ඵල ගැන්වීමට ලැබීම පිළිබඳව අපි ආඩම්බර වන අතර, පුළුල් ව්‍යාපාරික ප්‍රජාවක් විසින් පොදු ජනතාවගේ කොටසක් ලෙසට මෙන්ම, ආයෝජකයින් ලෙසට, මෙය අපගේ ඔරොත්තු දීමේ හැකියාව සහ සර්වශුභවාදීව ලෝකය දෙස බැලීමට අප දක්වන කැමැත්ත පිළිබඳව නොමැකෙන සළකුණක් ලෙස දකිනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු. ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨත්වය කරා යන මාවතක සිටින අතර, එම ගමනේ කොටසක් හෝ ඉටු කිරීමට හැකියාව ලැබීම සම්බන්ධයෙන් අපට ආඩම්බර විය හැක. අපට පොහොසත් උරුමයක් තිබේ. නමුත් මගේ පියා ඔහුගේ ක්‍රියාවන් තුළින්ම පෙන්වා දුන් ආකාරයට, එම පොහොසත් උරුමයට අනුකූලව ජීවත් වීම සහ,  නවමු ආයෝජනයන් සඳහා සෑමවිටම නිර්භීතව පය තැබීම අප සතු කාරණයකි.”

Air Sports Club යනු, ඕනෑම අයෙකුට තම නිවසින් (පළමු අවකාශයෙන්) සහ රැකියාවෙන් හෝ පාසලෙන් (දෙවන අවකාශ‍යෙන්) වෙන් වූ සමාජ පරිසරයක් නිර්මාණය කර දෙන “තුන්වන අවකාශයක්” ලෙස හැඳින්විය හැක. එය කුමන තරාතිරමක අයවලුන්ට වුවත්, මිනිසුන් ලෙස එකට එකතු වීමට, සම්බන්ධ වීමට සහ ප්‍රජාවකට අයත් වීමට අවකාශය සලසන ස්ථානයක් වනු ඇත. 

“ක්‍රීඩාව, යහපැවැත්ම සහ ප්‍රජා හැඟීම එකට සුසං‍යෝග කරන පරිශ්‍රයක් ලබා දීමට හැකිවීම සම්බන්ධයෙන් සීමාසහිත Air Sports International (පුද්) සමාගම අභිමානයෙන් සිටී. මෙය, සැබවින්ම ශ්‍රී ලංකාවට පවතින ඕනෑම තත්වයකට ඔරොත්තු දීමේ හැකියාව සහ උත්කෘෂ්ට අභිලාෂයන් පිළිබිඹු කරවන අතරම,  Air Sports Club  යනු එම ගුණාංගයන් සෑම දිනකම ජීවමාන වන අවකාශයක් ද වනු ඇත”.වැඩිදුර විස්තර සඳහා  +94 77 608 8001 අංකයෙන් බුර්හනුදීන් තාසිම් අමතන්න.